Thursday, March 6, 2014

කොලොම්පුරෙන් තල් අරඹට - පළවෙනි වෙළුම

කාලෙකින් මගේ බ්ලොග් අඩවියට මමවත් ආවේ නැහැ. මගේ ආදරණීය මිතුරෙක් මේ අඩවියට ගොඩවැදිලා, ලස්සන අදහස් කීපයක් සලකුණු කරල ගිහින්..හරිම සුන්දරයි.ඒ වගේම ස්තුතියි. කාලෙකින් අකුරු නොකර හිටියට දෙයියන්ගේ පිහිටෙන් අපේ ගමන්බිමන් වලින් අඩුවක්නම් උනේ නැහැ. ඉතින් මතකයේ රැඳුන තවත් සුන්දර චාරිකා වල විස්තර, මේ විදියට දිගහරින්නයි හදන්නේ.

කොලොම්පුරෙන් තල් අරඹට
මගේ ඊළඟ වික්‍රමය

දිනය       : 18 මැයි 2013
කැමරාව  : Sony HX 100V

මෙච්චර දවසක් කොළඹට ආසන්න සොඳුරු දසුන් බලන්න බයිසිකල් වලින් එහෙ මෙහෙ ගියපු අපි ඊට වඩා ලොකු ගමනක් යන්න ඕන කියල කතා බහ කළේ ටික කලක ඉඳලා. කොහොම හරි කොළඹ ඉඳලා යාපනයට බයිසිකලෙන් යමු කියල මගේ සුපුරුදු මිත්‍රයා කසුන් යෝජනා කළේ, ලක් දසුන් වෙබ් අඩවියේ තිබුණ එක වාර්තාවක් නිසා.
කොළඹ ඉඳල කෑගල්ල සහ කුරුණෑගල හරහා අපහු කොළඹට බයිසිකලයකින් තනියම ගිය ගමනක් ගැන අපුරු වාර්තාව ගැන අපේ හිත් ඇදිලා ගියා. මේ වාර්තාව ලියල තිබුණේ ශෂික කියන සහෝදරයා. ශශිකට මේ අපූරු ගමන යන්න දවස තුනක් ගත වෙලා තිබුනා. තනියම යන ගමනේ සැලකිය යුතු අවධානමක් නොතිබුනා නෙමෙයි කියල ශෂික කියන්නේ කවුරුවත් නොහිතන විදියේ අකරතැබ්බ වෙන්න පුළුවන් නිසා වෙන්නත් ඇති. බයිසිකලෙන් දුර ගමනක් යනවනම් ගෙනියන්න ඕන මොනවද කියල බොහොම පැහැදිලිව ශෂික එයාගේ වාර්තාව ඇතුලේ විස්තර කරලා තිබුනා.
වාර්තාව අග ශශිකගේ දුරකථන අංකය තිබුන නිසා අපි වැඩි විස්තර දැනගන්න කතා කළා. ඒ වෙනකොටත් ශෂික අපිව අඳුනන්නේ නැහැ. කොහොම වුනත් අපිට ඕන විස්තර කිසිම අඩුවක් නැතුව ලබාදුන්නේ ගුරුවරයෙක් පාඩමක් උගන්වනවා වගේ.  අපේ ගමනේ අරමුණ මොකද්ද කියල කිව්වට පස්සේ ශශිකත් ගමනට එක පයින්ම කැමති උනා. ඒ කතාබහට පස්සේ අපි තුන් දෙනා එකතුවෙලා ගමනට ඕන සේරම අඩුමකුඩුම එකක් වත් අඩු නැතිවෙන්න ලැයිස්තු ගත කළා. අපි යන ගමන්මග පුරාවටම මනුෂ්‍ය ජනාවාස හමු වෙන්නේ නැති නිසා පුංචි දෙයක් වත් අමතක නොවෙන්න අපි වග බලාගත්තා. මොකද අමතක උනා කියල ආපහු හැරිලා එන්න බැහැනේ.

ගමනේ සිතියම හදාගන්න එක තමා අනිත් වැදගත්ම කාරණේ. මොකද සමහර පැති වල පාරවල් ඒ වෙනකොටත් ගුගල් මැප් ගත කරලා තිබුණේ නැහැ. ඉතින් කසුන් එක්ක එකතු වෙලා අපි පාරවල් ටික ඇඳගත්තා.

ලැයිස්තුව හැදුව වගේ නෙමෙයි ඒ ටික ගෙනියන්න ක්‍රමයක් හොයාගන්න එකත් හුඟක් වැදගත්. ශෂික නම් එයාගේ බයිසිකලය සම්පුර්ණයෙන්ම හදලා තිබුණේ දුර ගමන් යන්න පුළුවන් වෙන විදියට. නමුත් අපේ බයිසිකල් වලට අපි විශේෂ දෙයක් එකතු කරලා තිබුණේ නැහැ. ඉතින් අපි මුලින්ම කළේ පිටකොටුවට ගිහින් හොඳ ලගේජ් එකක් ගන්න එක. රුපියල් 600 කට මිලට ගත්ත ලගේජ් එක හුඟක් ශක්තිමත් එකක්.
අපේ ඊළඟ ගැටලුව වුණේ ලගේජ් වලට ගැලපෙන බෑග් හොයාගන්න එක. අපි කඩ කීපයකට ගිහින් ගැලපෙන විදියේ බෑග් හොයාගන්න බැලුවට, අපිට හිතපු විදියේ එකක් හොයාගන්න බැරි උනා. අන්තිමේදී කසුන් යෝජනා කළේ අපිම බෑග් මහගනිමු කියල. අන්තර් ජාලය පීරලා කසුන් විස්තර හොයාගත්තා කොහොමද බයිසිකලයට ගැලපෙන බෑග් හදාගන්නේ කියල.

බෑග් වලට ඕන ගනකම් රෙදි, පටි සහ බකල්ස් ආදී මෙකි නොකී හැමදේටම වැය වුනේ බොහොම සුළු මුදලක්. අපේම මිම්මට අපිට ඕන විදියට අපේ බෑග් අපිම මහගත්තා.



මේ තියෙන්නේ අපි ගෙනියන්න ලෑස්ති කර ගත්ත දේවල්. කෑම බීම පිළිබඳව සේරම දේවල් බලාගත්තේ ශෂික තමයි.ඉතින් බර අනුව සමාන කොටස් තුනකට අපි සේරම දේවල් බෙදාගත්තා. හැමදේම හරි කියල තහවුරු කරගත්තට පස්සේ අපි ඉක්මණින්ම නින්දට ගියේ උදේ පාන්දරම ගමන පටන් ගන්න ඕන නිසා.


..දැන්නම් සේරම හරි..


අපි ගමන පටන් ගත්තේ උදේ 4.30 ට. අපේ කුකුළා විතරක් නෙමෙයි වටේ පිටේ කුකුල්ලුත් අරගෙන අපි උදෙන්ම ගමන පටන් ගත්තේ යන්න තියෙන දුර වැඩි නිසා. අව්ව තද වෙන්න කළින් හුඟක් දුර යන්න ඕන. නැත්තම් හුඟක් මහන්සි දැනෙනවා.

..හිමිදිරි වලාවන් මැදින් එබී බලන හිරු..

..කළුවර මැදියමේ දියඹට අදුන ධීවරයන් තම අස්වැන්න අරගෙන වරාය දෙසට එනවා..


..පිපාසය නිවාගැනීම තැඹිලි කදිම පිළිතුරක්..
(වයික්කාල නගරය කිට්ටුව උදේ 8.30)

වතුර තමා වැදගත්ම සාධකය. අපිට නොදැනුනාට බයිසිකලයෙන් දුර යන විට ශරීරයෙන් ජලය වැඩියෙන් පිටවෙනවා. ඉතින් ප්‍රමාණවත් තරම් වතුර ගෙනියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් ගෙනියන්න පුළුවන් වතුර ප්‍රමාණය සීමාසහිත නිසා අපි අතරමග හමුවන බොහොමයක් තැඹිලි කඩ ළඟ නැවතුනා. තැඹිලි වලින් අවශ්‍ය ජල ප්‍රමාණය වගේම අවශ්‍ය ග්ලුකෝස් ප්‍රමාණයත් ලැබෙනවා. සිසිල් බීම වගේ දෙයකට වැඩ අපි විශ්වාස කලේ තැඹිලි ගැන.

..ඈත දියඹේ ඇදෙන රුවල් ඔරු..

..අපිම නිර්මාණය කරගත් බෑග්.. 

..තාමත් පරිසරය සීතලයි..

අපි කුඩාරම් දෙකක් අරගෙන ගියා. ඊට අමතරව නිදාගන්න ස්පොන්ජ් කුෂන් එකකුත් අරගෙන ගියා. දවසෙම බයිසිකල් පැද්දට පස්සේ හොඳ නින්දක් ලැබුනේ නැත්තම් අයෙ පහු වෙනිදට බයිසිකල් පදිනවා බොරු. ඉතින් නින්ද කියන එකත් වැදගත් සාධකයක් තමයි. 

..ජනාකීර්ණ මාළු වෙළඳපලක් මැදින් ඇදෙන ශෂික..

..අතරමග පොඩි කරදරයක්..

බයිසිකල් වල පොඩි පොඩි අබාධ ආවොත් ඒවා විසඳගන්න ඕන කරන සේරම බෙහෙත් අපි අරගෙන ගියා. පොඩි පොම්පයක්, අමතර බයිසිකල් ටියුබ්, පැච් කිට් සහ කේබල් වගේ ඕන කරන හැමදේම අරගෙන ගියේ මොන මොන කරදර ඒවිද කියල දන්නේ නැති නිසා. කසුන් ගාව තියෙන බහුකාර්ය අඬුව, ගමන පුරාවටම  බොහොම ප්‍රයෝජනවත් උපකරණයක් උනා.

..මේ යන්නේ කසුන්..

..අතරමග මැද ඉසිඹුවක්..
අත් දිග ඇඳුමක් ඇඳගෙන ගියේ නැත්තම් අව්වෙන් හරි කරදරේ. මමනම් පරණ අත් දිග කමිසයක් ඇඳගෙන ගියා. ඒත් අව්වෙන්නම් බේරෙන්න අමාරුයි.

..මේ ඉන්නේ මගේ පරණ මිතුරා..

..අතරමග ලුලන් විකිණීමට තිබේ..

අපේ ගමනේ මුල්ම දවස අවසානයේ අපි නවතින්නේ කොහෙද කියන එක පොඩි ගැටළුවක් වෙලා තිබුණේ. හවස 4.00 විතර වෙනකොට අපි මුන්දලට ඇවිත් තිබුණා. වටේම ලොකු ලොකු පොල් වතු. ඉතින් අයිතිකාරයන්ගෙන් අහන්නේ නැතුව නවතින්න බැහැනේ. නවතින්න පුළුවන්, පස්සේ අපිට ඉස්පිරිතාලේ නවතින්න උණොත් වැඩේ ටිකක් අවුල් යනවනේ.

කොහොමහරි අපි පොල් වත්තක මැනේජර් මහත්තයට කතා කරලා නවතින්න අවසර ඉල්ලුවා. අපි ගැන ගොඩාක් විස්තර අහල වසන්ත මහත්තයා අපිට එදා රාත්‍රිය පොල් වත්තේ ගත කරන්න ඉඩ දුන්නා.

අපි නැවතුණේ වත්ත මැද තිබුණ මඩුවක් ළඟ. එතන පරණ ළිඳක් තිබුණා. මුලින්ම කළේ හොඳට නාගන්න එක. හීතල වතුර ටිකක් මහන්සියෙන් මිරිකිලා තිබුණ ශරීරය තෙමාගෙන යද්දී දැනුනේ පුදුම සුවයක්. මහන්සිය වතුරෙන් හේදිලා දියවෙලා යනකම් අපි හොඳට නාගත්තා.

නෑමට පස්සේ තියන්නේ ඉතිරි වැඩ කටයුතු ටික. කෑම බීම සහ නිදාගැනීම. මේ තියෙන්නේ ඒ විස්තර. මේ පින්තුර ටික කසුන්ගේ කැමරා කාචයේ සටහන් උන ඒවා.

..අපි නාපු ළිඳ..
මේක හදල තියෙන්නේ 1940 දී.

..මැද ඉන්නේ වසන්ත මැනේජර් මහත්තය. දකුණු පැත්තේ අයිනේ ඉන්නේ වත්ත බලාගන්න ඩේවිඩ් අයියා..

..දැන් කුඩාරම හරි..

.. රෑ කෑම හදාගත්තා..

ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ පළවෙනි දවසේ අවසානය. හෙට උදේ 6.00 ට අපි පිටත් වෙන්න තමා හිතාගෙන ඉන්නේ. දෙවන දවස ගැන දෙවන වෙලුමෙන් හමු වෙමුකෝ එහෙනම්. 





No comments:

Post a Comment