Thursday, December 13, 2012

ගොරක ඇල්ල

දිනය      : 13 නොවැම්බර් 2012
කැමරාව : Sony NEX 7

වර්ග කිලෝ මීටර 65,500 විතර වුණත් මේ පුංචි රටේ අපි නොදන්න ලස්සන තැන් කොච්චරනම් තියෙනවද? මිනිසුන්ගේ ඇස් වලට වහන්වෙලා, සොබා දහම තුල හැංගිලා තියෙන ලස්සන හොයාගෙන යාම එක්තරා විදියකට පිස්සුවක්. මේ පිස්සුව දැනෙන්නේ සොබාදමේ අගය දන්නා, සොබාදම් රසය විඳින්න පුළුවන් හිතකට විතරයි කියල මම හිතනවා. පරිසර සුන්දරත්වය අපේ හිත් වලට ගෙන එන්නේ අපූරු සුවයක්. කිරල මැනලා කියන්න බැරි උනත් සොබාදහම තුළ හැංගුනාම දැනෙන සතුට අතිවිශාලයි. මොකද අපි හැමෝම සොබාදහමේ කොටස් කරුවන්. පරිසරය අපේ උරුමයක් නොවුණත් අපි පරිසරයේ උරුමයක්.

කොඩිගහ කන්දේ සයිකල් සවාරියට පස්සේ අපි තවත් රවුමක් ගියා. ඒ ගොරක ඇල්ල සොයාගෙන ගිය ගමන.හැබැයි මේ ගමන් දෙක අතරමැද අපි තවත් ගමනක් ගියා දඹෝර ඇල්ල කියල තව දිය ඇල්ලක් හොයාගෙන. නමුත් ඡායාරූප නැති නිසා මම ඒ ගමන ගැන විස්තරයක් දැම්මේ නැහැ. ලක්දසුන් වෙබ් අඩවිය ඇතුළේ සැඟවිලා තිබුණ මේ අපුරු දිය ඇල්ලේ විස්තර හොයාගත්තේ මගේ ගමන් සගයා වන කසුන්. දිය ඇල්ල බලන්න යන ගමන ආරම්භ කලේ කොස්වත්තෙන්. උදේ 6.20 ට විතර කොස්වත්තෙන් පිටත් උනේ උදේට ඕන කරන ආහාරත් ගමන් මලු වලට දාගෙනමයි. මීට අමතරව ගමනට අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕන අඩුම කුඩුම ටික,ඒ කියන්නේ බයිසිකල් පොම්පය, ටූල් කිට් එක සහ පැච් කිට් එක කියන මෙන්න මේ ටිකත් අපේ මළු වලටම දාගත්තා.