Thursday, March 6, 2014

කොලොම්පුරෙන් තල් අරඹට - පළවෙනි වෙළුම

කාලෙකින් මගේ බ්ලොග් අඩවියට මමවත් ආවේ නැහැ. මගේ ආදරණීය මිතුරෙක් මේ අඩවියට ගොඩවැදිලා, ලස්සන අදහස් කීපයක් සලකුණු කරල ගිහින්..හරිම සුන්දරයි.ඒ වගේම ස්තුතියි. කාලෙකින් අකුරු නොකර හිටියට දෙයියන්ගේ පිහිටෙන් අපේ ගමන්බිමන් වලින් අඩුවක්නම් උනේ නැහැ. ඉතින් මතකයේ රැඳුන තවත් සුන්දර චාරිකා වල විස්තර, මේ විදියට දිගහරින්නයි හදන්නේ.

කොලොම්පුරෙන් තල් අරඹට
මගේ ඊළඟ වික්‍රමය

දිනය       : 18 මැයි 2013
කැමරාව  : Sony HX 100V

මෙච්චර දවසක් කොළඹට ආසන්න සොඳුරු දසුන් බලන්න බයිසිකල් වලින් එහෙ මෙහෙ ගියපු අපි ඊට වඩා ලොකු ගමනක් යන්න ඕන කියල කතා බහ කළේ ටික කලක ඉඳලා. කොහොම හරි කොළඹ ඉඳලා යාපනයට බයිසිකලෙන් යමු කියල මගේ සුපුරුදු මිත්‍රයා කසුන් යෝජනා කළේ, ලක් දසුන් වෙබ් අඩවියේ තිබුණ එක වාර්තාවක් නිසා.
කොළඹ ඉඳල කෑගල්ල සහ කුරුණෑගල හරහා අපහු කොළඹට බයිසිකලයකින් තනියම ගිය ගමනක් ගැන අපුරු වාර්තාව ගැන අපේ හිත් ඇදිලා ගියා. මේ වාර්තාව ලියල තිබුණේ ශෂික කියන සහෝදරයා. ශශිකට මේ අපූරු ගමන යන්න දවස තුනක් ගත වෙලා තිබුනා. තනියම යන ගමනේ සැලකිය යුතු අවධානමක් නොතිබුනා නෙමෙයි කියල ශෂික කියන්නේ කවුරුවත් නොහිතන විදියේ අකරතැබ්බ වෙන්න පුළුවන් නිසා වෙන්නත් ඇති. බයිසිකලෙන් දුර ගමනක් යනවනම් ගෙනියන්න ඕන මොනවද කියල බොහොම පැහැදිලිව ශෂික එයාගේ වාර්තාව ඇතුලේ විස්තර කරලා තිබුනා.
වාර්තාව අග ශශිකගේ දුරකථන අංකය තිබුන නිසා අපි වැඩි විස්තර දැනගන්න කතා කළා. ඒ වෙනකොටත් ශෂික අපිව අඳුනන්නේ නැහැ. කොහොම වුනත් අපිට ඕන විස්තර කිසිම අඩුවක් නැතුව ලබාදුන්නේ ගුරුවරයෙක් පාඩමක් උගන්වනවා වගේ.  අපේ ගමනේ අරමුණ මොකද්ද කියල කිව්වට පස්සේ ශශිකත් ගමනට එක පයින්ම කැමති උනා. ඒ කතාබහට පස්සේ අපි තුන් දෙනා එකතුවෙලා ගමනට ඕන සේරම අඩුමකුඩුම එකක් වත් අඩු නැතිවෙන්න ලැයිස්තු ගත කළා. අපි යන ගමන්මග පුරාවටම මනුෂ්‍ය ජනාවාස හමු වෙන්නේ නැති නිසා පුංචි දෙයක් වත් අමතක නොවෙන්න අපි වග බලාගත්තා. මොකද අමතක උනා කියල ආපහු හැරිලා එන්න බැහැනේ.