Monday, November 26, 2012

සිරිපාදේ සමනොළ කන්ද පෙනේ

දිනය      : 07 අප්‍රේල් 2012
කැමරාව : Sony HX 100V

බොහොම අඩු කාල සීමාවක් තුළ සංවිධානය කළත් ලබපු රසයේ කිසිම අඩුවක් නොවුණ  තවත් එක ලස්සන ගමනක් තමයි අපේ සිරිපා කරුණාව. දෙසැම්බර් මාසයේ උඳුවප් පුන් පෝයදාට පසුව ඇරඹෙන සිරිපා සමය ආයෙත් අවසන් වන්නේ එළඹෙන වෙසක් පෝයත් සමගයි. මේ අතරතුර ලැබෙන මාස පහක කාලසීමාව තුළ මේ පුංචි රටේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් සිරිපා හිමය පිරිලා ඉතිරිලා යනවා. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ආදී සියලුම බැතිමතුන් සිරිපාදය වන්දනා කරන්නේ අපමණ භක්තියකින්. අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ලක්දිව වැඩම කළ සමයක, සමන් දෙවිඳුන්ගේ ආරාධනාව පරිදි බුදු සිරි පතුල සිරිපා මස්තකයේ පිහිටවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සිරිපාදය සමග බැඳුණු පුරාවෘතයන් නිසා දෙස් විදෙස් සෑම හදකම සිරිපාදය ගැන තියෙන්නේ හද පතුලෙන්ම එන ගෞරවයක්. සිරිපා කඳු මුදුන දකින සැමවිටම සිතේ ඇතිවන පහන් සිතුවිලි, සිතෙන් පමණක් නොව ගතින්ද දකින්න පුළුවන්. බොහොම ශාන්තිමත් විලාසයකින් සිරිපා කරුණාවේ යෙදෙන ආච්චිලා, සීයලා පමණක් නොව තරුණ තරුණියන්ද සිරිපා සමයේ සුලබ දසුනක්. කිලෝ මීටර දෙකකටත් වඩා උස සිරිපාදය කිසිදු අතුරු ආන්තරාවක් නැතුව වන්දනා කරලා එන්න හැකිව තියෙන්නේ මෙම ප්‍රදේශයට අධිගෘහිත සමන් දෙවියන්ගේ දේවාශිර්වාදය සෑම වන්දනා කරුවෙකුටම ලැබෙන නිසා බව බැතිමත් විශ්වාසයයි.

අප්‍රේල් පස්වෙනි බ්‍රහස්පතින්දා ගත්තු තීරණයක්‌ අනුව ගමනට ලෑස්ති උණේ අපි හතර දෙනයි. මමත් එක්ක බැංකුවේ එකට වැඩ කරන වරුණ, කුෂාන්, කසුන් සහ මම තමයි නඩය. බාලාංශ පන්ති වල ඉඳලා උසස් පෙළ දක්වාම මම හිටියේ රත්නපුරේ වුණත්, මම මෙච්චර කාලෙකට සිරිපා වන්දනාවේ ගිහින් නැහැ. ඉතින් මම කෝඩු කාරයෙක්. නඩේ ගුරෙක් හිටියේ නැහැ. මොකද නඩේ ගුරා විදියට එන්න හිටපු අපේ හිත මිතුරු සුරංගට වෙනත් වැඩක් යෙදිලා තිබුනා.

Wednesday, November 21, 2012

මීමුරේ ගිය හැටි

දිනය      : 14 මාර්තු 2010
කැමරාව : Sony Ericsson K800i Mobile Phone

මගේ බ්ලොග් එකේ නම අනුව ගැලපෙන්නේ නැති උනත්, ගියපු අනිත් සංචාරයන් වල මතකයන් එකතු කළොත් හොඳයි කියල හිතුන නිසා, ඔන්න මම තවත් විස්තරයක් දානවා. මේ අපි හදිස්සි තීරණයක්‌ මත මීමුරේ ගියපු හැටි.

මේ දවස් වෙද්දී මම හිටියේ දෙල්කඳ පැත්තේ බෝඩිමක. මට වඩා වැඩිමල් උනත්, මම වගේම ඇවිදින්න උපන් හපන් සාමාජිකයෝ ටිකක් හිටියා මාත් එක්කම. 2010 මාර්තු 13 වෙනිදා රෑ 8.00 ට විතර තමයි අපිට ආරාධනාව ආවේ මීමුරේ යන්න. බෝඩිමේ සාමාජික නිශාන්ත අයියාගේ බාප්පා ඇතුළු පිරිසක් තමයි ගමන ලෑස්ති කරලා තිබුනේ. මාර්තු 13 වෙනිදා රෑ 12.00 නුවර කොළඹ බස් එකට අපි කට්ටිය එකතු උනා කොහොමහරි. රෑ නිදි මරාගෙන නුවරට අපි ළඟා උනේ හරියටම උදේ හතරට. අපි නුවරට යනකොට ගෙනියන්න තියෙන සියලුම දේවල් ලෑස්ති කරලා ඉවරයි. නිශාන්ත අයියගේ බාප්පාගේ වෑන් එකට සේරම අඩුම කුඩුම පටවල තිබුණ.


Tuesday, November 20, 2012

කොඩිගහ කන්ද

දිනය : 16 ජූනි 2012  ප.ව. 2.30
කැමරාව : Sony HX 100V

කොළඹට ආසන්නව තියෙන ලස්සන තැන් මොනවද කියල, ලක් දසුන් වෙබ් අඩවියෙන් හොයනකොට හමුවුන තවත් එක තැනක් තමයි "කොඩිගහ කන්ද රක්ෂිතය". කොළඹ හොරණ පාරේ කෝරල ඉම හන්දියෙන් හැරිලා තමයි කොඩිගහ කන්ද රක්ෂිතය බලන්න යන්න තියෙන්නේ. ශ්‍රී ලංකා සිතියම පිළියෙළ කිරීමට යොදාගත් ත්‍රිකෝණමිතික ලක්ෂ මතකද? සාමාන්‍ය පෙළ කරද්දී අපිට තිබුන සිතියම් වල පොඩි ත්‍රිකෝණයකින් දක්වල තිබුන හැටි මතක ඇති. ඉතින් මේ කොඩිගහ කන්දත් එක ලක්ෂයක්. කන්ද මුදුනේ කොඩි කණුව හිටවපු අත්තිවාරම තාමත් දැකගන්න පුළුවන්. දැනට මේ රක්ෂිතය ගැන හොයල බලන්නේ "මිහිතල මිතුරෝ" කියන පරිසර සංවිධානය. රක්ෂිතයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය ආරම්භයේදීම ඔයාලට මේ මිහිතල මිතුරන් මුණ ගැහේවි. බොහොම සුහදශීලි පරිසරවෙදීන්ගෙන් ඔබට උණුසුම් තේ කොප්පයකුත් රස විඳින ගමන්ම පරිසරය ගැන කරුණු කාරණා බොහොමයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ පරිසර සංවිධානයට බැඳිලා, මතු පරපුර වෙනුවෙන් පරිසරය රැකගන්න ඔවුන් ගෙනයන මේ සද්කාර්යට දායක වෙන්න ඔයාලටත් පුළුවන්.


Monday, November 19, 2012

අද ඉඳලා..

ඉස්සර ඉඳලා මට තිබුන ආසාව තමයි සංචාරයේ යෑම. මොකද මන්ද මටනම් කොහේ හරි පැත්තක ඇවිදින්න යන්න ඕනිමයි. ඉස්කෝලේ නිවාඩු දවස් වලට මම යාලුවෝ එක්ක ඇවිදින්න යනවා,කොහේ හරි. දැන් යාලුවෝ සේරම විසිරිලා. අලුත් රස්සාවට අවට පස්සේ ඇවිදින එක ටිකක් විතර අඩු උනත් නතරකළේ නම් නැහැ. ඉතින් මම ඇවිදින තැන් කැමරාවේ සටහන් වුන ආකාරය බ්ලොග් ගත කරන්නයි මේ වෑයම.
මම දැන් වැඩිපුරම ඇවිදින්න යන්නේ බයිසිකලයකින්. පහළ තියෙන්නේ ඒක. මගේ ගමන් සගයා තමයි කසුන්. ඉතින් අපි දෙන්නත් එක්ක තමයි ගමන් බිමන් යන්නේ.
තාම බ්ලොග්කරණයට අලුත් උනත් කොහොම හරි ඔන්න අද ඉඳලා මගේ බ්ලොග් එක පටන් ගන්නවා. පුලුපුලුවන් විදියට විස්තර එක්ක මම වාර්තා කරන්නම්. ඔයාලට හිතෙන ඕන දෙයක් ලියන්න නිදහස තියෙනවා.
ස්තුතිය : ලක් දසුන් , කසුන් ප්‍රියශාන්ත 

Corratec X-vert Mayon 2009 model
මේක මගේ 
Trek Marlin 2012 model
මේක කසුන්ගේ