Monday, November 26, 2012

සිරිපාදේ සමනොළ කන්ද පෙනේ

දිනය      : 07 අප්‍රේල් 2012
කැමරාව : Sony HX 100V

බොහොම අඩු කාල සීමාවක් තුළ සංවිධානය කළත් ලබපු රසයේ කිසිම අඩුවක් නොවුණ  තවත් එක ලස්සන ගමනක් තමයි අපේ සිරිපා කරුණාව. දෙසැම්බර් මාසයේ උඳුවප් පුන් පෝයදාට පසුව ඇරඹෙන සිරිපා සමය ආයෙත් අවසන් වන්නේ එළඹෙන වෙසක් පෝයත් සමගයි. මේ අතරතුර ලැබෙන මාස පහක කාලසීමාව තුළ මේ පුංචි රටේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් සිරිපා හිමය පිරිලා ඉතිරිලා යනවා. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ආදී සියලුම බැතිමතුන් සිරිපාදය වන්දනා කරන්නේ අපමණ භක්තියකින්. අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ලක්දිව වැඩම කළ සමයක, සමන් දෙවිඳුන්ගේ ආරාධනාව පරිදි බුදු සිරි පතුල සිරිපා මස්තකයේ පිහිටවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සිරිපාදය සමග බැඳුණු පුරාවෘතයන් නිසා දෙස් විදෙස් සෑම හදකම සිරිපාදය ගැන තියෙන්නේ හද පතුලෙන්ම එන ගෞරවයක්. සිරිපා කඳු මුදුන දකින සැමවිටම සිතේ ඇතිවන පහන් සිතුවිලි, සිතෙන් පමණක් නොව ගතින්ද දකින්න පුළුවන්. බොහොම ශාන්තිමත් විලාසයකින් සිරිපා කරුණාවේ යෙදෙන ආච්චිලා, සීයලා පමණක් නොව තරුණ තරුණියන්ද සිරිපා සමයේ සුලබ දසුනක්. කිලෝ මීටර දෙකකටත් වඩා උස සිරිපාදය කිසිදු අතුරු ආන්තරාවක් නැතුව වන්දනා කරලා එන්න හැකිව තියෙන්නේ මෙම ප්‍රදේශයට අධිගෘහිත සමන් දෙවියන්ගේ දේවාශිර්වාදය සෑම වන්දනා කරුවෙකුටම ලැබෙන නිසා බව බැතිමත් විශ්වාසයයි.

අප්‍රේල් පස්වෙනි බ්‍රහස්පතින්දා ගත්තු තීරණයක්‌ අනුව ගමනට ලෑස්ති උණේ අපි හතර දෙනයි. මමත් එක්ක බැංකුවේ එකට වැඩ කරන වරුණ, කුෂාන්, කසුන් සහ මම තමයි නඩය. බාලාංශ පන්ති වල ඉඳලා උසස් පෙළ දක්වාම මම හිටියේ රත්නපුරේ වුණත්, මම මෙච්චර කාලෙකට සිරිපා වන්දනාවේ ගිහින් නැහැ. ඉතින් මම කෝඩු කාරයෙක්. නඩේ ගුරෙක් හිටියේ නැහැ. මොකද නඩේ ගුරා විදියට එන්න හිටපු අපේ හිත මිතුරු සුරංගට වෙනත් වැඩක් යෙදිලා තිබුනා.

අපේ ගමන් මාර්ගය යෙදිලා තිබුණේ කුරුවිට එරත්න හරහා කිලෝ මීටර 12 කට පමණ අසන්න දුරකින් යුතු පාරකින්. සෙනසුරාදා උදේ 7.30 ට විතර පිටකොටුව බස් නැවතුම්පොළට එකතු වුන අපි කට්ටිය රත්නපුරය බලා යන බසයකින් කුරුවිටට ළඟා වෙනකොට උදේ 11.00 විතර වෙලා තිබුනා. අපි මුලින්ම කළේ කුරුවිට ෆුඩ් සිටි එකෙන් ඕනිවෙන කෑම බීම ටික ගන්න එක. සැන්ඩ්විච් පාන්, බිස්කට් පැකට්, මාමයිට් වගේ දේවල් එක්ක අපි මෙගා බීම බෝතල් කිහිපයකුත් ගත්තා.තව අමතරව සිද්ධාලේප කුප්පියකුයි, ප්ලාස්ටර් වගේ ඕනි වෙන්න පුළුවන් දේවල් ටිකකුත් ගත්තා. මේ සේරම බර අනුව සමාන කොටස් වලට බෙදලා හැමෝගෙම ගමන් මළු වල දාගෙන අපි දවල් කෑම කන්න කඩයකට ගියා. දවල් ආහාරයට පස්සේ බස් නැවතුම්පොළට ආපු අපි කට්ටියට එරත්න බලා යන බසයක් සොයා ගන්න බැරි වුනා. එහෙම කියල කොහොමද? වන්දනාවේ ඇවිල්ල අපහු හැරෙන සිරිතක් නැහැ නේ. ඉතින් කිට්ටුව තිබුන ත්‍රීවිල් රථ ගාලට ගියපු අපි ත්‍රීවිල් එකක් හයර් කරගත්තා. මතක හැටියට අපිත් එක්ක ආවේ ධනංජය කියලා සොයුරෙක්. කුරුවිට නගරයේ ඉඳල කිලෝමීටර තුනකටත් වඩා දුරින් තිබුන ආරම්භක ස්ථානය වෙත යන්න ඔහු අයකළේ සාධාරණ මුදලක්. කොහොමහරි අපි ගමන පටන් ගන්න කඩමන්ඩියට ළඟා වෙනකොට වෙලාව හවස 3.00 විතර වුනා. සීත ගඟුලේ පහළ කෙළවර ගලාගියේ මේ කඩමණ්ඩිය අසළින් බොහොම නිදහසේ. වන්දනාව අරඹන්න කලින් පිරිසිදු වීම වටින නිසා ඔන්න අපි නාන්න ගියා.


වතුරනම් පංකාදු පහයි. අයිස් වතුර වගේ හීතලයි. වතුර මොනතරම් පිරිසිදුද කියනවනම් සැබෑ ගැඹුරට වඩා  පේන ගැඹුර අඩුයි. මේක වෙන්නේ වර්තනාංකය නිසා කියල ඔයාල දන්නවනේ. පිරිසිදු වතුරේ වර්තනනං කය වැඩි අගයක් ගන්නවා. පැයකට වඩා කාලයක වතුරේ සෙල්ලම් කරපු අපි ආපහු කඩමණ්ඩියට ආවේ හඳුන්කූරු, ඉඳිකටු සහ නූල් එහෙම ගන්න. කඩයක ඉඳපු මාමා කෙනෙක් අපිට මේ පුජා භාණ්ඩ දීල සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් කරුණා කරන්න කියල ආශීර්වාද කළා. එතන තිබුණ බුදු මැදුරට වැඳලා අපිත් කරුණාව පටන් ගත්තේ හවස 4.30 ට විතර. කට වරද්ද ගත්තේ නැතත් අපිනම් බොහොම සංතෝසෙන් හිනා වෙවී කරුණා කළා.
ඕකිඩ් මලක්

පළවෙනි අම්බලම ගාවට එනකොට ටිකක් මහන්සිත් වගේ. නමුත් සීතල හුළඟට අපේ මහන්සිය ගහගෙන ගියා. පොඩ්ඩක් ගිමන් ඇරලා අපි ආපහු කරුණාවේ යෙදුනා. පොඩ්ඩක් විතර මහන්සි නිසා මම හයිය රිටක්, හැරමිටියක් වගේ අරගෙන තමයි ගියේ. අතරමගදී අපිට ආතම්ම කෙනෙක් හමුවුණා. කිසිම ආධාරකයක් නැතුව ආතම්මා පහළට කරුණා කරනවා. විලි ලැජ්ජාවේ පණ යනවා. ඊට පස්සෙන් ආපු මාමා කෙනෙක් මට හොඳටම නෝන්ඩි කළා, හැරමිටි අරගෙන යනවා කියලා. මමත් ඉතින් ඊට පස්සේ හැරමිටිය ගහකට හේත්තු කරලා තියල අවා.නැත්තම් ආයෙත් නෝන්ඩිය නේ.තුන්වෙනි අමබලම ගාව ලස්සන දිය ඇල්ලක් තියෙනවා කියල ලක් දසුන් වෙබ් අඩවියේ තිබුනා. ඒ තමයි වර්ණගල ඇල්ල.


 දිය ඇල්ල පාමුල හරි ගැඹුරුයි. පීනන්න කොච්චර පුළුවන් උණත් බහින්නනම් එපා. 


හිටි ගමන් වතුර වැඩි වෙන නිසා අපි වැඩිය රැඳුනේ නැහැ. මොකද ඒ වෙනකොටත් අහස කළු කරලා, ගඟුල බාන්න ලෑස්ති වෙලා තිබුණේ. අපි රේන් කෝට් අරගෙන ගියත් වැස්සේ එක වරයි. ඒකත් පොද වැස්සක්. සමන් දෙවියන් අපිට අනුකම්පා කරලා.


හතරවැනි නැවතුම්පොළට එනකොට හවස හයත් පහුවෙලා. ගමන දුෂ්කර නිසා අපි ටිකක් හෙමින් තමා ආවේ. එක දිගට කන්ද නැගගෙන එන අපිට ටිකක් තැනි බිමක් හරි හමු උනොත් රජ මගුල් වගේ තමයි. මේ වෙනකොට අඩිපාර දිගේ විදුලි පහන් දල්වලා තිබුනා. එහෙම නොවුනානම් අපිට මුහුණ පාන්න වෙන්නේ හරිම අකරතැබ්බයකට. මොකද අපි ගාව තිබුණේ එක විදුලි පන්දමයි.


මේ දැන්වීම විහිළුවක් නෙමෙයි. මොකද මේ කඩය පිටිපස්සෙන් සීත ගඟුල ගලාගෙන යනවා. එතන තියෙන්නේ "කළු වල" කියලා ලොකු වලක්. කියන දෙය නාහන අපේ සමහර තරුණ තරුණියන් මේ වලට බහින්නේ ගැඹුර ගැන නොසලකා. අපි ගිය දවස් වලට කලින් සතියෙත් මෙතන තරුණියක් ගිලිලා තිබුනා කියල අපිට කිව්වේ මේ කඩේ මුදලාලි.


අතරමග පොඩ්ඩක් අපි නැවතුනා.

අපට හමුවුන පස්වෙනි කඩය ළඟදී කුරුවිට - එරත්න පාර සහ රත්නපුර - පලාබත්දොල පාර  එකට හමුවෙනවා. මේ තියෙන්නේ එතන.



මෙච්චර දුර ආවත් තාම අපි සිරිපා මළුව දැක්කේ නැහැ. මේ වෙනකොටත් තද හිතලක් තිබුනා. නමුත් හරි පුදුම සෞම්‍ය ගතියක් තමයි අවට පරිසරයේ තිබුනේ. මෙතනින් එහාට කඳු නැග්ම වැඩියි. ගමන ටිකක් දුෂ්කරයි.  අතරමගදී අපි ඉඳිකටුපානට ළඟාවුනා. ගමන ආරම්භයේදීම අපි අරගෙන ආපු ඉන්කටු සහ නූල් බෝල මෙතන තියල චාරිත්‍ර වාරිත්‍ර එහෙම ඉටු කරලා ආපහු කරුණා කළා.  අපි අරගෙන ආපු සමහර කෑම බීම වර්ග මේ වෙනකොටත් අවසන් වෙලා තිබුනේ. මේ වෙනකොටත් වෙලාව රාත්‍රී 11.00 පහු වෙලා. අවට පරිසරය මොනවගේද කියල නොපෙනුණත් අපි ආවේ ගණ කෑලෑවක් මැදින් කියල හිතුනේ අපිට ඇහුන සද්ද අනුව. කූඩැල්ලන්ගෙන් අපිට ලොකු කරදරයක් නොවුණත් කිහිප දෙනෙක් මිනුම් පාඨාංක අරගනිමින් හිටියා.  මගදිගට විදුලි ආලෝකය තිබුණත් දෙපාරක්ම විදුලි බලය විසන්ධි වුනා. අපිට තිබුන එකම විදුලි පන්දම ඒ කළුවර මකන්න ප්‍රමාණවත් උනේ නැහැ. කොහොම උණත් විනාඩි කිහිපයකින් අයෙත් විදුලි පහන් දැල්වුනා. තවත් සුනංගු නොවී කරුණා කරන්න කියලා හිතාගෙන ගමන ඇරඹුවත් ආයෙත් විදුලිය විසංධි වුනා. කලින් වතාවට වඩා වැඩි වෙලාවක් ගත උණත් ආයෙත් විදුලිය ආවා. ඊට පස්සේ මහ මළුවට අපි ළඟාවෙනකම් විදුලිය විසංධි උනේ නැහැ.

මෙන්න අපි මහගිරිදඹය නගිනවා. මිදුම නිසා තමයි ඔය පින්තුරේ අපැහැදිලි වෙලා තියෙන්නේ. 

මහ මළුවදී, හැබැයි සිරිපතුලේ පින්තුර ගන්න බැරි උනා. 

    දැන් වෙලාව උදේ පාන්දර 3.00 විතර වෙලා. ඉර සේවය බලන්න හුඟක් වෙලාව තිබුණ නිසා අපි හතරදෙනා පොඩි බිත්ති මුල්ලකට හේත්තු උනා. බිම වාඩි උනාට හරිම සීතලයි. අපි අරගෙන ආපු එකම බෙඩ් ෂීට් එක හතර දෙනා එක්කම පෙරවාගෙන තමයි හිටියේ. අපි වගේම තව හුඟක් කට්ටිය මහමළුවේ තැනින් තැන ගුලි වෙලා හිටිය හැටි හරි අපුරුයි. හොඳට නින්ද ගිහින් තිබුණ වෙලාවක අපි එක සැරේම ඇහැරුනේ දාපු පොඩි තට්ටුවකින්. උදේ හතරට මහමළුවේ කරන පුජාව නිසා මළුවේ හිටපු හැමෝම වගේම අපි කට්ටියටත් පහළට යන්න උනා. උදේ හයට කිට්ටු වෙනකොට ඉර සේවය දකින්න පුළුවන් නිසා අපි ඒ පැත්තට හෙමින් හෙමින් ගියා. ඒ පැත්තේ අපිට කලින් කට්ටිය ඉඩ වෙන් කරගෙන. ඉතින් මොනවා කරන්නද? අමාරුවෙන් අපිත් හිටියා. එතන හිටපු පොලිසියේ නිලධාරී මහත්මයෙක් ඉර සේවය හොඳට පෙනෙන තැනක් ගැන අපිට කිව්වා. ඒ තමයි මහ මළුවට පහළින්ම වගේ නල්ලතන්නි පාරේ තියෙන කඩය. මෙතනට ඉර සේවය හොඳට පේනවා. වැඩිය කට්ටිය නැති නිසා කරදරයකුත් නැහැ.


 ඉර සේවය පටන් ගන්නයි යන්නේ 

ඉර සේවය බලාගෙන අපි හෙමින් සැරේ නල්ලතන්නි පාර දිගේ පහළට කරුණා කළා. මග දිගටම පොඩි පොඩි කඩ නිසා ඒ පාරේ ලස්සන නැතිවෙලා. කොහොමත් ලස්සන බලන්න ඕනිනම් මේ පාර නැතුව රත්නපුර, කුරුවිට වගේ පාරක එන්න. සිරිපා කරුණා කරලා ආපහු යන්න මේ නල්ලතන්නි පාර හොඳයි කියලයි මටනම් හිතෙන්නේ.


දිගටම පඩිපෙළ තියෙන නිසා ටිකක් අබලදුබල අයට මේ පාර සුදුසුයි. අනිත් එක මේ පාර තමයි සිරිපාදෙට තියෙන කෙටිම මග. හැටන් වල ඉඳල නල්ලතන්නියට බස් එකෙන් ඇවිත් යන එක ලේසියි. අතර මග සිද්ධාලේප වෙද මහත්තයාගේ ඔසුසලට ගොඩ වැදුනොත් නොමිලේම ඔසු පැන් ටිකක් බිලා, නොමිලේම පාද සම්භාහනයකුත් ගන්න පුළුවන්. 

නල්ලතන්නි පාරට පෙනෙන සිරිපා මළුව 

අපි නල්ලතන්නියට එනකොට උදේ 9.30 විතරවෙලා. එදා පොඩ්ඩක් බස් අඩු නිසා අපිට ටිකක් වෙලා ඉන්න උනා. කොහොමහරි තිබුන හැටන් බස් එකක පිටිපස්සේ පේළියට එකතු වුන අපිට නොදැනීම නින්දත් ගියා. කොන්දොස්තර ඇවිල්ල තට්ටු කලාට පස්සේ ඇහැරුණ අපි හිතුවේ හැටන් වලට ඇවිත් කියලා. බලනකොට අතරමග තැනකින් අපිව හැටන් වලට යන වෙනත් බස් එකකට දාල ඒ බස් එක වෙන පාරක ගියා. අපිට ඉතින් මොකත් මොකෝ කියල කළේ නිදාගන්න එක තමයි. ඇත්තටම තිබුන මහන්සියට ඉබේම නින්ද යනවා. හවස 1.00 වෙද්දී හැටන් වලට ආපු අපි 1.30 කොළඹ බලා යන කෝච්චියේ එල්ලුනා. වාඩි වෙන්න සීට් නැති අපිට බිමත් සැපයි. ඉතින් අපි පා පුවරුව ළඟ බිම වාඩි වෙලා ආවා. අන්තිමට හවස 5.00 ට විතර කොළඹට ආපු අපි කොටුවේදී එකිනෙකාගෙන් සමුගත්තේ පහුවෙනිදාට වැඩට එමු කියල. කිව්වා වගේම අපි පහුවෙනිදා, ඒ කිව්වේ සඳුදා වැඩටත් ආවා දෙයියනේ කියල 





3 comments: