Wednesday, November 21, 2012

මීමුරේ ගිය හැටි

දිනය      : 14 මාර්තු 2010
කැමරාව : Sony Ericsson K800i Mobile Phone

මගේ බ්ලොග් එකේ නම අනුව ගැලපෙන්නේ නැති උනත්, ගියපු අනිත් සංචාරයන් වල මතකයන් එකතු කළොත් හොඳයි කියල හිතුන නිසා, ඔන්න මම තවත් විස්තරයක් දානවා. මේ අපි හදිස්සි තීරණයක්‌ මත මීමුරේ ගියපු හැටි.

මේ දවස් වෙද්දී මම හිටියේ දෙල්කඳ පැත්තේ බෝඩිමක. මට වඩා වැඩිමල් උනත්, මම වගේම ඇවිදින්න උපන් හපන් සාමාජිකයෝ ටිකක් හිටියා මාත් එක්කම. 2010 මාර්තු 13 වෙනිදා රෑ 8.00 ට විතර තමයි අපිට ආරාධනාව ආවේ මීමුරේ යන්න. බෝඩිමේ සාමාජික නිශාන්ත අයියාගේ බාප්පා ඇතුළු පිරිසක් තමයි ගමන ලෑස්ති කරලා තිබුනේ. මාර්තු 13 වෙනිදා රෑ 12.00 නුවර කොළඹ බස් එකට අපි කට්ටිය එකතු උනා කොහොමහරි. රෑ නිදි මරාගෙන නුවරට අපි ළඟා උනේ හරියටම උදේ හතරට. අපි නුවරට යනකොට ගෙනියන්න තියෙන සියලුම දේවල් ලෑස්ති කරලා ඉවරයි. නිශාන්ත අයියගේ බාප්පාගේ වෑන් එකට සේරම අඩුම කුඩුම පටවල තිබුණ.


ගමන යෙදිලා තිබුනේ නුවර මහියංගණ පාරේ හුන්නස්ගිරිය හන්දියෙන් වමට හැරිලා යන පාරේ. අපි උදේ අට වෙද්දී හුන්නස්ගිරිය හන්දියට ආවා. එතන තමයි අපිට හමු උන අවසාන පෙට්‍රල් ෂෙඩ් එක. වාහනේට ඕනි ඩීසල් ටිකත් පුරවගෙනම අපි ගමන ආරම්භ කළා. ඒ දවස් වල නම් පාර ටිකක් කැඩිලා තිබුණේ. දැන්නම් සමහර විට හදල ඇති. අපේ පළවෙනි නැවතුම වුණේ මෙන්න මේ සුළං කපොල්ල. අපි ගිය දවස්වලනම් හුළඟත් අඩුයි. අඩු උනත් තද හුළඟක් තිබුණා.

මේ තියෙන්නේ සුළං කපොල්ල.
එතනට පේන නකල්ස් කඳු වැටිය
මේ තමා ගමනට එක් වුන සාමාජිකයන්

අවට සිරි විඳලා අපි පහළට බැස්සා. මෙතන තමයි අපේ දුරකථන වලට සංඥා ලැබෙන අවසන් තැන. ඊට පස්සේ අපිත් ලෝකෙන්ම වෙන් උණා වගේ. මෙතන ඉඳං අපි දිගටම මීමුරේ බලාගෙන ගියත් අතරමග පොඩි කරදර ටිකක් නිසා පරක්කු වෙන්න උණා. පාරනම් හොඳටම අබලන්. ඒක නිසා පොඩි රෝද වාහන වලට යන්න අමාරුයි. මීමුරේ ගම් වැසියන්ටත් මේ කරදරය හොඳටම දැනිල තිබුණේ. ඒක නිසාද කොහෙද මේ පාරට කොන්ක්‍රීට් දාන්න පටන් අරගෙන තිබුණා. මේ කොන්ක්‍රීට් හරියට වේලිලා නොතිබුණ තැන්වල අපිට ටිකක් ලත වෙන්නත් උණා. මේ පාර අවසන් වෙන්නේ මීමුරේ ගමෙන්. මීමුරේ කනිෂ්ඨ විද්‍යාලය තිබුණෙත් එතනමයි. 


අපි ගිය වාහනය නවතන්න මේ ඉස්කෝලේ මුල් ගුරුතුමා අපිට ඉඩ දුන්නා. මීමුරේ ගමේ ඉන්න චුටි නංගිලා මල්ලිලාට ඉගෙන ගන්න තිබුණ එකම පාසැල තමයි මේ. සේරම ගුරුවරු හතර දෙනයි. ඔවුන් තමා පුංචි දරුවන්ගේ ඇස් පාදන්නේ. බලධාරීන්ගේ නිසි අවධානය යොමු උනේ නැතත්, හරි හමන් පහසුකමක් නැති උනත් මේ පොඩ්ඩන් හරි අපුරුවට අකුරු කරන බව මුල් ගුරුතුමා අපිට කිව්වා. ලෝකෙන් වෙන්වෙලා අහුමුල්ලක හිටියත් ඔවුන්ට ලෝකය ගැන කියල දෙන්න මේ ගුරුවරු ගන්න උත්සාහය අනන්තයි, අප්‍රමාණයි.
මේ බව දැනගත්තු එක්තරා රාජ්‍ය නොවන සාමාජිකයන් පිරිසක් මේ පාසලට සූර්ය පැනල සවි කරල දීල තිබුණා.විදුලි එළිය නොදැකපු පුංචි ළමුන්ට වීඩියෝ පහසුකම් ඇති රුපවාහිනියකුත් ලැබිල තිබුණා.

ඉස්කෝලේ ඉස්සරහ පොඩි කඩයක් තියෙනවා. කඩේ පොඩි උනාට ගමේ අයට මේ කඩේ සුපර් මාකට් එකක් වගේ. මොකද මේ කඩේ නැති දෙයක් නෑ වගේ. ගමේ වැසියන්ට දෛනික ජිවිතයට අවශ්‍ය හැමදේම මෙතන තියෙනවා. කුළු බඩු, වෙනත් ආහාර, සෙරෙප්පු, යකඩ ඇණ, බයිසිකල් රිම් ආදී මෙකි නොකී බොහොමයක්. අනිත් වැදගත්ම දේ තමයි මේ කඩේ දුරකතනයක් තියෙනවා. හුඟක් ඉහළින් සවි කරපු ඇන්ටනාවක් මගින් ඔවුන් ලෝකයත් සමග තොරතුරු හුවමාරු කරගන්නවා. ගාන සාධාරණයි. නුවර කඩේකින් උනත්, මෙතනින් උණත් ගානේ වෙනසක් නැහැ.

උයාගෙන කන්න ලෑස්ති කරගෙන ගියත් ගමේදී හිතවත් උන මාමා කෙනෙක් බොහොම කැමැත්තෙන් අපිට කෑම ලෑස්ති කරල දුන්න. අපි ගෙනියපු අඩුම කුඩුම සේරම ඒ ගෙදරට දීල ඔන්න අපි නාගන්න යන්න පිටත් උණා. සූරිය අරණ චිත්‍රපටය බලපු යාළුවන්ට මතක ඇති නේද කඩේට එන අය වාඩිවෙලා හිටිය තැන. එතන දැන් ගම් වැසියන්ගේ විවේක ස්ථානයක්. එතන තමයි අපිත් අපේ දිවා ආහාරය ගත්තේ. තමන්ගේ කුඹුරට ගිහිල්ල, ඒ වැඩ රාජකාරි ඉවර කරල එන සීයා  කෙනෙක් අපිට හමු උණා. කෑමට කළ ආරාධනාවත් එක්ක එතනට ආපු සීයා අපිත් එක්ක දොඩමලු උණා.


කෑවා කියලා නොනා පුලුවන්ද. ඉතින් අපි ආයෙත් නාන්න දොළට ගියා. මතකද සූරිය අරණේ පොඩි හාමුදුරුවෝ වැදි පැටිය එක්ක සෙල්ලම් කරපු තැන. මේ තියෙන්නේ එතන. දැන් පොඩ්ඩක් වතුර අඩුයි.

නොමිලේ හමුවන ෆිෂ් තෙරපි එක
 සීයා කියාපු විදියටනම් මෙතන හුඟක් ගැඹුරුයි. පීනන්න දන්නේ නැත්තම් බහින්න එපා. දැනගත්තත් බහින්නේ නැතිව හිටියොත් හොඳයිලු. මොකද වතුර හොඳටම හීතල නිසා පිනද්දී කෙන්ඩ පෙරළෙන්න  බලනවලු. මටනම් හරියට පීනන්න බැහැ. ඒක නිසා මමනම් බැස්සේ නැහැ.

මීමුරේ තියෙන නිහඬ සුන්දරත්වය විඳින්න මටනම් දවසක් මදි. නමුත් දවස් දෙකට අපි හුඟක් ලස්සන දේවල් බලන්න ගියා. අපි ලස්සනයි කිව්වට මේ ගමේ අහිංසක වැසියන් හැමදාම විදින්නේ ලොකු දුකක්. ළඟම තියෙන නගරයට, ඒ කියන්නේ හුන්නස්ගිරියට කිලෝ මීටර් විස්සකට වඩා තියෙනවා. උදේ හයට මීමුරේ ඉස්කෝලේ ගාවින් යන වෑන් ඒක හවස දෙකට හුන්නස්ගිරියෙන් මීමුරේ බලා එනවා. එක ගමනකට ඒ දවස් වලනම් රුපියල් 120 ගානේ 240ක් ගත්ත, දැන්නම් තවත් වැඩි ඇති. නමුත් මේ මිනිසුන්ට ඒ මුදලත් ලොකු දෙයක්.

මේ තියෙන්නේ ප්‍රසිද්ධ කන්දක්. අහල ඇතිනේ ලකේගල. ලකේගල මීටර 1,300 ක් විතර උසයි. ගම්මුන්ගේ කටවහරින් එන පුරාවෘත්ත වලට අනුව රාවණා රජතුමා, රාම කුමරු සමග කළ සටනෙදි සිහි මුර්ඡා වුණාලු.  ඒ රාවණා රජතුමාගේ සිහිසුන් සිරුර මෙන්න මේ ලකේගල කන්දේ, රහසිගත ආගාරයක තැන්පත් කරලා තියෙනවලු. අනාගතේ දවසක එන සිල්වතෙක් මේ ආගාරයට ඇතුළු වෙලා, එතුමාව අවදි කරනවලු. මේ කතාව කිව්වේ අපිට හමුවුන සීයා. ඉතිහාසයේ සැඟවී ගිය කතාව මොකක් උණත්, ලකේගල මිමුරේට ගේන්නේ අමුතුම අභිමානයක්. 2010 නව අවුරුදු උදානයට මේ ගමේ අය හරි අපූරු දෙයක් කළා කිව්වා. ඒතමයි ලකේගල මුදුනේ හදපු පිරිත් මණ්ඩපයකට හාමුදුරුවරු වැඩම කරලා සිදු කරපු පිරිත් පිංකම.


කරලින් බර වෙනකම් කුඹුර පරිස්සම් කරන එක පුංචි පහේ දෙයක් නෙමෙයි.
කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැහැ.

මේ කුඹුරු වලට පහළින් දොළක් ගලාගෙන යනවා. නාන්න හරි අපුරු තැනක්. වතුර නම් අයිස් වගේ හිතලයි. කොළඹ ඉන්න අපිට කොහෙද මෙහෙම පිරිසිදු වතුර ටිකක්.

 රෑ වෙන්න කලින් අපි අවා ඉස්කෝලෙට. අපිට නවාතැන් දුන්න මුල් ගුරුතුමාට ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා.

පහුවෙනිදා ආපහු ගම රට බලා එන්න පිටත් උණා. අතරමග තියෙන ලස්සන තැනක් තමයි පුංචි ලෝකාන්තය. මම දන්නා විදියටනම් පුංචි ලෝකාන්ත තුනක් තියෙනවා. හෝර්ටන් තැන්නේ තියෙන පුංචි ලෝකාන්තය, රිවස්ටන් වල තියෙන පුංචි ලෝකාන්තය සහ මීමුරේ යනකොට හමුවෙන පුංචි ලෝකාන්තය. මේ තැන් කොච්චර ලස්සන උණත්, මීදුම නිසා හුඟක් වෙලාවට ඒ ලස්සන පේන්නේ නැහැ.

වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන කාර්යාලයක් හරහා ටිකට් පත් මිලට අරගෙන ඔයාලට මේ පුංචි ලෝකාන්තය බලන්න යන්න පුළුවන්. ලොකු පයිනස් කැලෑවක් මැදින් යන්න තියෙන මේ ගමනත් හරි අපුරුයි.
අපි ආපු පාර තමයි පහළින් පේන්නේ

 මහන්සි නම් වාඩිවෙලා ඉන්න පුළුවන්

පුංචි ලෝකාන්තය පේන්නේ මේ විදියට
මීදුම නැතිනම් හරි ලස්සනයි

වනජීවී කාර්යාලය දේශනාගාරයකුත් පවත්වාගෙන යනවා. ඔයාලටත් අවශ්‍යනම් වනජීවී දෙපාර්තමේන්තුව හරහා මෙම ස්ථානය වෙන්කරගන්න පුළුවන්. පරිසරය ගැන ඕනිම කරුණක් ඕනිම වෙලාවක ඔයාලට කියල දෙන්න මෙතන ඉන්න නිලධාරී මඩුල්ල ලෑස්තියි.

මේ පින්තුර ගත්තේ මගේ ෆෝන් කැමරාවෙන්. මොකද ඒ දවස් වෙනකොට මම ගාව කැමරාවක් තිබුණේ නැහැනේ. අවුරුදු හතරක් පුරාවට මම ගාව දුකට සැපට ඉන්න මේ ෆෝන් එකේ කැමරාව නම් ඉස්තරම්.
ඔයාලට තව විස්තර ඕනිනම් මට කියන්න. ලකේගල තරණය කරන්න ආසාව තිබුණත් අපිට වෙලාවක් තිබුණේ නැහැ. ඒත් අයෙත් දවසක ලකේගල යන අදහස ඇතිව, අපි මීමුරෙන් සමු ගත්තා.




2 comments:

  1. කොළඹ ඉන්න අපිට කොහෙද මෙහෙම පිරිසිදු වතුර ටිකක් ??? :D :D

    ReplyDelete