Thursday, December 13, 2012

ගොරක ඇල්ල

දිනය      : 13 නොවැම්බර් 2012
කැමරාව : Sony NEX 7

වර්ග කිලෝ මීටර 65,500 විතර වුණත් මේ පුංචි රටේ අපි නොදන්න ලස්සන තැන් කොච්චරනම් තියෙනවද? මිනිසුන්ගේ ඇස් වලට වහන්වෙලා, සොබා දහම තුල හැංගිලා තියෙන ලස්සන හොයාගෙන යාම එක්තරා විදියකට පිස්සුවක්. මේ පිස්සුව දැනෙන්නේ සොබාදමේ අගය දන්නා, සොබාදම් රසය විඳින්න පුළුවන් හිතකට විතරයි කියල මම හිතනවා. පරිසර සුන්දරත්වය අපේ හිත් වලට ගෙන එන්නේ අපූරු සුවයක්. කිරල මැනලා කියන්න බැරි උනත් සොබාදහම තුළ හැංගුනාම දැනෙන සතුට අතිවිශාලයි. මොකද අපි හැමෝම සොබාදහමේ කොටස් කරුවන්. පරිසරය අපේ උරුමයක් නොවුණත් අපි පරිසරයේ උරුමයක්.

කොඩිගහ කන්දේ සයිකල් සවාරියට පස්සේ අපි තවත් රවුමක් ගියා. ඒ ගොරක ඇල්ල සොයාගෙන ගිය ගමන.හැබැයි මේ ගමන් දෙක අතරමැද අපි තවත් ගමනක් ගියා දඹෝර ඇල්ල කියල තව දිය ඇල්ලක් හොයාගෙන. නමුත් ඡායාරූප නැති නිසා මම ඒ ගමන ගැන විස්තරයක් දැම්මේ නැහැ. ලක්දසුන් වෙබ් අඩවිය ඇතුළේ සැඟවිලා තිබුණ මේ අපුරු දිය ඇල්ලේ විස්තර හොයාගත්තේ මගේ ගමන් සගයා වන කසුන්. දිය ඇල්ල බලන්න යන ගමන ආරම්භ කලේ කොස්වත්තෙන්. උදේ 6.20 ට විතර කොස්වත්තෙන් පිටත් උනේ උදේට ඕන කරන ආහාරත් ගමන් මලු වලට දාගෙනමයි. මීට අමතරව ගමනට අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕන අඩුම කුඩුම ටික,ඒ කියන්නේ බයිසිකල් පොම්පය, ටූල් කිට් එක සහ පැච් කිට් එක කියන මෙන්න මේ ටිකත් අපේ මළු වලටම දාගත්තා.


කොස්වත්තෙන් පටන් ගත්ත ගමනේ පළවෙනි නැවතුම්පළ වුණේ හංවැල්ල. හංවැල්ල නගරයට කිලෝ මීටර 2 ක් පමණ අතරමග කැළණි ගඟ ලස්සනට පෙනෙන තැනක අපි නැවතිලා, උදේ පාතරාසය ගත්තා. විනාඩි 20 ක විතර විවේකයක් ගත්ත අපි නැවත ගමන් ඇරඹුවේ බයිසිකල් වලට අවශ්‍ය සාත්තුව දුන්නට පස්සෙයි.



හංවැල්ල පහු කරගෙන අපි පුගොඩට ළඟාවුනා. පුගොඩ කිරිඳිවැල මාර්ගයේ අතරමගින්  හැරිලා අපි අමිතිරිගල කඩපොළට සේන්දු වුනා. මේ වෙනකොට අපි කිලෝ මීටර 40 ක් විතර සයිකලේ පැදලා. අවසාන කිලෝ මීටර අටම කඳු සහිත පාරක්. පාර හොඳයි, ඒත් මහන්සි වැඩියි. කන්දේ අතරමගදී මමනම් සයිකලෙන් බැහැලා, තල්ලු කරගෙන තමයි ගියේ. කොහොමහරි අපි අමිතිරිගලට එනකොට 11.00 විතර වෙලා තිබුනා. අමිතිරිගල ඉඳල තව කිලෝ මීටර තුනක් විතර අවිස්සාවේල්ල පාරේ ගියාට පස්සේ තමයි ගොරක ඇල්ලට යන පාර හමුවෙන්නේ.

දිය ඇල්ලට යන පාර තියෙන්නේ පුද්ගලික ඉඩමක් හරහා. එතන වාහනය නැවතීමේ පහසුකම් තියෙනවා. වෑන් එකකට රුපි. 20 යි. මෝටර් සයිකල් වලට රුපි. 10 යි. එතන වාහනය ආරක්ෂාකාරීව නවත්තල මීටර් 100 ක් විතර රබර් කැළයක් මැදින් ගියාම ඇල්ලේ පාමුලට යන්න පුළුවන්.


මේ තියෙන්නේ ගොරක ඇල්ල.
කිසිම බයක් සැකක් නැතුව නාන්න කියාපු තැනක්. ගැඹුර නැති නිසා පොඩි දරුවන්ට උනත් ජල ක්‍රීඩා කරන්න පුළුවන්. හැබැයි ටිකක් ලිස්සනවා. වෙන කරදරයක් නම් නැහැ. වැසි කාලයට වතුර වැඩි නිසා ටිකක් මේ දිය ඇල්ල සැරයි.







දිය ඇල්ල මුදුනට පෙනෙන ලස්සන 

දිය ඇල්ල මුදුනේ ස්වභාවික තටාක දෙකක් තියෙනවා. උපරිම ගැඹුර අඩි තුනක් විතර. කරනම් ගහන්න බැරි උනත් හිතේ හැටියට නාන්න නම් නියමයි.

කැමරා කාචයේ සටහන් වුන අපූරු දසුන්


දිය ඇල්ලේ පහස සොයා ආපු කට්ටිය

මීට වඩා පින්තුර ගත්තට මම දැම්මේ මෙච්චරයි. කොහොමහරි ඡායාරූපකරණ කටයුතු වලට පස්සේ අපිත් නාගන්න ගියා. වතුරනම් හරිම සීතලයි. හිතේ හැටියට නාගෙන අපි හවස 1.30 ට විතර ආපහු ආවා. මගදිගට හමුවෙන තැඹිලි කඩ වලින් තැඹිලි බිබී ආපු මේ ගමනත් හරිම අපූරුයි. හවස හත කිට්ටු කරලා ආපහු කොස්වත්තට ආපු අපි මුලින්ම කලේ ආපහු නාගන්න එක. මටනම් කකුල් කැක්කුමත් හැදුනා. ඒත් පහුවෙනිදට නිවාඩු දාන්න තරම් අමාරු වුණේ නැහැ.

මේ ඡායාරූප සියල්ලම කසුන්ගේ කැමරාවේ සටහන් වුන ඒවා. ඉතින් මම කසුන්ගෙන් ඉල්ලගෙන තමයි දැම්මේ.


මෙන්න අපි ගිය පාර 

2 comments:

  1. We do not own the environment.....
    The environment does not belong to us...
    but we do belong to the environment....
    We are part of the environment.....
    it has been nicely worded here....
    your writings are impressive....good luck !

    ReplyDelete
    Replies
    1. Thank you very much Chitra.. Your valuable comment encourages me a lot. I have lot to write. I'm still making notes and essays. Let's see.. I'll publish my feelings like I did here.. Many thanks :D

      Delete